සොකරි ජන නාටකය

 

              


        ශ්‍රී ලංකාවේ පැරණිම ජන නාටකය සොකරි ජන නාට්‍යය ලෙස හැඳින්විය හැකිය.උඩරට නර්තන සම්ප්‍රදායට අයත් ජන නාටකය ලෙස මේ හැඳින්විය හැකි අතර ලග්ගල, හේවාහැට,බී රුප්පෙ, තලාතුඔය, හඟුරන්කෙත යනාදී ප්‍රදේශවල ප්‍රචලිතව පවතී.සොකරි ගැමි නාටකය රඟ දැක්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ සශ්‍රීකත්වය යි. ගොයම් කපා පාගා අවසන් කමත රංග භූමිය කොටගෙන සොකරි ගැමි නාටකය ඉදිරිපත් කරනු ලබයි. " ඩොකරි" යන හින්දි වචනය තුළින් සොකරි යන්න සකස් වී ඇති අතර එහි අර්ථය රූමත් කාන්තාව යන්නයි. සොකරි නාටකයේ කථා පුවත පහත පරිදි දැක්විය හැකිය. 

         සොකරි නම් රූමත් කාන්තාව ගුරුහාමි විසින් විවාහ කොටගෙන  ඔවුන්ට දරුවන් නොමැතිවීම නිසා දරුවකු  ලබාගැනීමේ පරමාර්ථයෙන් පරයා හා කාලි යන  අතවැසියන්  සමඟ ලංකාවට පැමිණීමට තීරණය කරයි. ලංකාවට පැමිණීම සඳහා නැවක් අවශ්‍ය බැවින් වඩුවකු ද සම්බන්ධ කර ගනිමින් ගස් විමසා, කපා, ලි ඉරා, නැවක් තනා මුහුදු තරණය කොට ලංකාවට පැමිණේ. අතරමගදී නැව කැඩී තඹරාවිට ප්‍රදේශයට ගොඩබසියි. තඹරාවිට වෙදරාළගේ ඉඩමක් මත ගෙපැලක් තනා ගෙන එහි ගොම මැටි ගා පන් ගෙනැවිත් පැදුරු වියා නිවෙස සකස් කොට ගනී. අනතුරුව ගුරුහාමි ආහාර සොයා යයි. ඔහු ගෙන එන ලද  වී වේලීම, වී කෙටීම, වී  පෙළීම සොකරිය විසින් නිරූපණය කරයි. ආහාර පිසීමට වතුර ගෙන ඒමට එක් දිනක් ගුරුහාමි වෙදරාළගේ නිවසට යයි. එසේ ගිය ගුරුහාමි ගේ කකුල බල්ලෙකු සපා කයි. ගුරුහාමි ට බෙහෙත්  කිරීමට වෙදරාළ කැඳවාගෙන ඒම සඳහා සොකරිය විසින් පරයා පිටත් කර  යැව්වද වෙදරාල  පැමිණීමට නම් සොකරිය ම පැමිණිය යුතු බව වෙදරාළ සඳහන් කරයි. ඒ නිසාවෙන් වෙදරාල වෙදරාළ කැටුව ඒම සඳහා සොකරියම වෙද   රාළ ගේ නිවසට යයි. අවසන කෙසේ වෙතත් සොකරිය හා වෙදරාළ සමග පැන යයි. ගුරුහාමිට සනීප වූ පසු ගුරුහාමි සොකරිය සෑම තැනකම සොයන අතර ඇය නොසිටිය බැවින් කතරගම දෙවියන්ට බාරයක් වේ. ටික දිනකින් සොකරිය නැවත ගෙදර පැමිණෙයි ගෙදර පැමිණීමෙන් පසු සොකරිය දරුවකු ප්‍රසූත කරයි. දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව මවක් තම දරුවාව ආදරයෙන් සෙනෙහසින් බලා ගන්නා ආකාරය පිළිබඳව සොකරිය විස්තර කරයි. 

     මෙලෙස වූ කතා පුවතකින් සොකරි නාට්‍ය ගොඩ නැගී ඇත. සොකරි නාට්‍ය තුළ සොකරි, ගුරුහාමි, වෙදරාල, පරයා, සොත්තා, කාලි යන ප්‍රධාන චරිත මෙන්ම කපුරාල, වඩුරාළ, හෙට්ටියා යන උපස්තම්භක චරිත ද යොදා ගනී. රංග භූමියට එන  චරිත හඳුන්වා දීම සොකරි නාටකයේ සුවිශේෂී ලක්ෂණයකි. 

 🌸. සොකරි හඳුන්වා දෙන ආකාරය 

සොකරි එන්නේ සබයෙන් අවසර   ගන්නේ

නැටුම් නටන්නී තාලෙට රාග       කියන්නේ 

පද අල්ලන්නේ පියයුරු ලැම  සොල්ලන්නේ

කැඩපත ගන්නී සුරතින් මූණ       බලන්නේ

🌸. වෙදරාළ හඳුන්වා දෙන ආකාරය 

වෙදා නටන්නේ පලමුව සබයට           එන්නේ

යොදා කියන්නේ තාලෙට ගත     වෙව්ලන්නේ 

කුදා වැනෙන්නේ සබයේ කොක්    හඬලන්නේ

විදා පාන්නේ අත් දෙක තෑගි              කියන්නේ 

🌸. සොත්තා හඳුන්වා දෙන ආකාරය 

සෙට්ඨා එන්නේ දෙවනුව නැටුම්      නටන්නේ

දැක්කා උනෙත් සෙල්ලම් යසයි         කියන්නේ

බක්කා ඉන්නේ නැටුමට මමයි          කියන්නේ 

සෙට්ඨා දන්නේ නැටුමට බිම      පෙරලෙන්නේ


🌸. පරයා හඳුන්වා දෙන ආකාරය 

ඉතින් කියන්නේ තුන්වැනි වරට        නටන්නේ 

පරයයි එන්නේ වට පිට නිතර            බලන්නේ

කට දොඩවන්නෙ ගිය ගිය තැන   පෙරළෙන්නේ

කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ


         මෙලෙස චරිත හඳුන්වා දීමට අමතරව අනුරූපණ රංග කාර්යයක් සහිත වීම සොකරි නාටකයේ දක්නට ඇත. බොහෝ අවස්ථා පසුබිම් කවි ගායනාවලින් විස්තර කෙරෙන අතර පාත්‍රය නිහඬ ව එය ක්‍රියාවට නංවයි. 

🏵️. පිරිස සත් මුහුදු තරණය කිරීම.

මහ මුහුදට නැව ඇවිත්               බහින්නේ 

මහ මුහුදේ නැව ගමනි             බොලන්නේ 

ගොළු මුහුදට නැව ඇවිත්            බහින්නේ 

ගොළු මුහුදේ නැව ගමනින්      බොලන්නේ 

🏵️.සොකරි  විසින් වී වේලීම 

  ලාසක් විතර වී අව්වේ                 වනාලා

දොළොසක් විතර ඇඟ ගෝමර       ඉසීලා 

අතක් දිගට නිල් වරලස               විහිදාලා 

සොකරි සිටිති වී අව්වේ                වනාලා 

කවි ගායනාවන් හැරුණු කොට සශ්‍රීකත්වය, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම, ගව මහීෂාදීන් ගේ සුඛ විහරණය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම යන  අරමුණු පෙරදැරි කොට ගනිමින් රඟ දක්වනු ලබන සොකරි ගැමි නාටකය තුළ ඇති සුවිශේෂි ලක්ෂණ පිළිබඳව හඳුනාගනිමු.



      සොකරි ගැමි නාටකය ලංකාවේ ඇති පැරණිතම ගැමි නාටකය වේ.     මෙය  උඩරට ප්‍රදේශ වලට ප්‍රදේශ වලට ආවේනික වේ.එමෙන්ම සොකරි, කාලි වැනි කාන්තා චරිත ද ඇතුලුව සියලුම චරිත පිරිමි නළුවන් විසින් පමණක් රඟපානු ලැබේ. එමෙන්ම  සොත්තා, පරයා, වෙදරාළ යන චරිත කොලපත් සහ කාඩ්බෝඩ් වලින් සැහැල්ලු වෙස්මුහුණු සාදාගෙන භාවිතා කරයි. එමෙන්ම කොළ පාගා අවසන් කර ගත්  කමත රංග භූමිය ලෙස භාවිතා කරයි. සශ්‍රීකත්වය මූලික අරමුණු කොට ගෙන ඊට අමතරව විනෝදාස්වාදය මෙන්ම   පූජාර්ථය  අරමුණු කොටගෙන මේය පවත්වයි. උඩරට ගැට බෙරය, කයිතාලම මෙන්ම වන්නි ප්‍රදේශයේ උඩැක්කිය වැනි සංගීත භාණ්ඩ ද යොදා ගනිමින් සොකරි නාට්‍යය රඟ දක්වයි. සශ්‍රීකත්වයේ දෙවඟන වන පත්තිනි දෙවියන් ප්‍රධාන වශයෙන් මෙහිදී පුද ලබන අතර රාත්‍රී කාලයේ දී පන්දම් ආලෝකයෙන් මේ රඟ දක්වනු ලබයි. රංග භූමිය මැද වංගෙඩියක් මුනින් අතට හරවා ඒ මත ලන්තෑරුම් තැබීම මගින් කමත තවදුරටත් ආලෝකමත් කර ගනී. එමෙන්ම ඉහතින්  සඳහන් කළ පරිදි රංග භූමියට පැමිණෙන චරිත හඳුන්වා දීම ද මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.  පසුබිම් කවි ගායනා සඳහා අනුරූපණ රංග කාර්යයක නිරත වීම සොකරි ගැමි නාටකයේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. අද වන විට ප්‍රාදේශීය වශයෙන් සුළු සුළු වෙනස්කම් පැවතියත් එකම කතා කතාපුවතක් රඟ දැක්වීම සිදු කරන අතර  එතුළින් හාස්‍යය සහ උපහාසය ජනිත කරවයි. මෙහිදී ද කෝලම් නාටකය හා සමානව පුද්ගල දුර්වලතාවන් උපහාසයට ලක්කිරීම  සිදුකරනු ලබයි. එමෙන්ම ඉලපත්    කොට‍‍‍‍ය,  තල් අත්ත, සැරයටිය වැනි රංග භාණ්ඩ පරිහරණය කරනු ලබන අතර එතුළින් සශ්‍රීකත්වය වැනි ලක්ෂණ නිරූපණය කරයි. 


   ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව ලොවට හඳුන්වා දෙනු ලැබූ ලංකාව තුළ පවතින සුවිශේෂී වූ  ගැමිනාටකයක් ලෙස සොකරි ගැමි නාටකය අපට අද වන විට හඳුන්වා දී හැක.

 සටහන - නිශා ඩිල්රුක්ෂි 🏵️



  

        

Comments

  1. Superb....🌹🌹😘😘😘😘

    ReplyDelete
  2. නියමයි වට්නවා

    ReplyDelete
  3. 😘😘😘😘 all the best sudu..😘😘😘😘

    ReplyDelete
  4. වැදගත් ලිපියක්... 👍

    ReplyDelete
  5. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Great job 👍👍👍👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කෝලම් ගැමි නාටකයෙ විශේෂතා

සකුන්තලා